06/09/2025
ඉන්දු ලංකා දුම්රිය සේවය...
මෙහි දැක්වෙන පලමු ටිකට් පත වර්ෂ 1982 දී ගම්පොල දුම්රිය ස්ථානයේ සිට රාමේෂ්වරම් දක්වා නිකුත් කරන ලද්දකි.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සංස්කෘතියේ සහ සන්නිවේදනයේ සම්බන්ධතා ගොඩනැගීම උදෙසා වඩාත් විශිෂ්ට මඟක් ලෙසට දුම්රිය සහ නාවික සම්මිශ්‍රණයකින් යුත් “Boat Mail Express” සේවාව හදුන්වා දිය හැකිය.
මෙම සේවාව, පරම්පරා කිහිපයකම දෙරට අතර මතකයන් ගෙනෙමින්,දෙරට අතර ගමනාගමන පහසුකම් සපයන ලදි. වර්ශ 1914 දී ආරම්භ කරන ලද Indo–Ceylon Express ලෙසත් හැඳින්වුන “Boat Mail” සේවාව, ඉන්දියාවේ චෙන්නායි Egmore සිට Rameswaram හරහා Dhanushkodi දක්වා දුම්රිය ගමනක් ලෙස ක්‍රියාත්මක විය. එහි සිට තලෙයිමන්නාරම දක්වා ෆෙරි නෞකාවකින් මෙම ගමන්වාරය සිදු කරන ලදි.
පසුව නැවත, ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම සිට කොළඹ දක්වා දුම්රිය මගින් ප්‍රවහානය සිදුකරන ලදී. මෙම සේවාව තුළින් සංචාරකයින්, වෙළඳුන්, රාජකාරී පිරිස් සහ මිනිස්සුන් අතර විවිධ ආගම්වලට, භාෂාවලට සහ සංස්කෘතීන් අතර වඩාත් සුහදශීලී සන්නිවේදන පද්ධතියක් ඇති විය. Dhanushkodi සිට තලෙයිමන්නාරම දක්වා වූ ෆෙරි සේවාව අඩු කාලයක් තුළ දෙරට අතර යාත්‍රා කිරීම නිසා එය “කාලය සුරකින්නා” ලෙස ද හැඳින්විණි.
මෙම ඉන්දු ලංකා දුම්රිය සේවය ආරම්භ කිරිම සමග රේගු කාර්යාලයක් සහ රේගු නිලධාරි නිල නිවාස පෙළක් තලෙයිමන්නාරම් තොටුපොළ දුම්රිය ස්ථාන අසලම පිහිටුවන ලදි . නමුත් 1984 ත්‍රස්තවාදී ක්‍රියා සමගම ඉන්දු ලංකා ගමනාගමන සේවය අත්හිටුවීමට ක්‍රියා කරන ලද අතර 1990 දී දුම්රිය මාර්ගය භාවිතයෙන් ඉවත් කිරීමත් සමගම මෙම කාර්යාලයද වසා දමන ලදී .
ඉන්දියාව සහ ලංකාව අතර දුම්රිය සේවාවක් ඇරඹීමේ යෝජනාව වර්ශ 1903 වසරේ දී පමණ ඉදිරිපත්වී ඇති අතර ඒ පිළිබඳව සිදුවූ අධ්‍යනයන් ආදිය සම්පූරණ වීමෙන් අනතුරුව 1908 සිට 1914 අතර කාලය තුලදී මන්නාරම් දුම්රිය මාර්ගය ඉදිකොට ඇත.
මෙම කාලය වනවිටත් ඉදිව තිබූණු උතුරු දිග දුම්රිය මාර්ගයේ මැදවච්චිය දුම්රිය ස්ථානයේ සිට මන්නාරම දක්වාත් එතැනින් මුහුද මත ඉදිවූ පාලමක් හරහා තලෛමන්නාරම දූපත වෙත ගොස් එහි උතුරු කෙළවර පිහිටි තලෛමන්නාරම් තොට දුම්රිය ස්ථානය දක්වාත් මේ දුම්රිය මාර්ගය ඉදිවුනි. මෙලෙසම දකුණු ඉන්දියාවේ ප්‍රධාන භුමිය හා ඒ ආසන්නයේ පිහිටි රාමේෂ්වරම් දූපත හා යාවන පරිදි අඩි 6,776 හෙවත් මීටර් 2,065 m දිගැති පාලමක් හරහා (පම්බන් පාලම) දුම්රිය මාර්ගයක් ඉදිවූ අතර රාමේෂ්වරම් දූපතේ කෙළවර පිහිටි ධනුෂ්කාඩ් දක්වාත් දුම්රිය මාර්ගයක් ඉදිකරන ලදී .
තලෙයිමන්නාරමේ දී හා ධනුෂ්කාඩි හිදි මුහුද තුලට ශක්තිමත් ජැටිය බැගින් ඉදිකරන ලද අතර ඒ මත දුම්රියක් නවතාලිය හැකි පරිදි දුම්රිය මාර්ගයක්ද ඉදිකරන ලදී. මේ ජැටි දෙක යා වන පරිදි කුඩා ප්‍රමාණයේ වාෂ්ප නැවක් මේ අතර යාත්‍රා කරමින් ඉන්දු - ලංකා මගී සහ භාණ්ඩ ප්‍රවාහන දුම්රිය සේවාව අරඹා ඇත.
" 1964 වසරේ දෙසැම්බර් මස 20 වැනිදා ඉන්දීය සාගරයේ අන්දමන් දූපත් ප්‍රදේශය ආශ්‍රිතව ඇතිවූ දරුණු සුළි කුණාටුවක් පෝක් සමුද්‍ර සන්ධිය හරහා හමායෑමේ දී දෙරටටම දැඩි හානියක් සිදුකරන ලදී. මෙම සුළි කුණාටුවෙන් ඉන්දියාවට එල්ල වූ බලපෑම වඩාත් දරුණු විය.
එම වසරේම දෙසැම්බර් මස 23 වැනිදා පම්බන් පාලම හරහා ධනුෂ්කොඩිය වෙත ඇතුළු වෙමින් තිබූ අංක 653 දරන මගී දුම්රිය රාමේෂ්වරම් පාර සහ ධනුෂ්කොඩිය දුම්රිය ස්ථාන අතර අංක 681 හා 682 කිලෝමීටර කණු ආසන්නයේදී කුණාටුව නිසා හටගත් අඩි 25 ක් පමණ උස යෝධ උදම් රළට හසු වීමෙන් සම්පූර්ණයෙන්ම පෙරළී යාමෙන් මගීන් 100ත් 110ත් අතර ප්‍රමාණයක් සමග දුම්රිය කාර්ය මණ්ඩලයේ 18 දෙනෙකුට සිය ජීවිත අහිමි විය. ඉන් පම්බන් පාලමට ද දැඩි හානි සිදුවී ඇත. ධනුෂ්කොඩි ගම්මානයට ද දැඩි හානි සිදුවූයේ පුද්ගලයන් රැසකට ජීවිත අහිමි කරමින් ය. මේ හා සමාන විශාල දේපළ හානියක් ද සිදුවිය."
තවද " දුම්රිය මාර්ගය ඉදිකිරීමේ දී මන්නාරම දූපතේ උතුරු ජැටිය හා දකුණු ජැටිය වශයෙන් ජැටි 02 ක් ඉදිකළ බව පෙර දී සඳහන් කර ඇත. ඒ අතරින් තලෙයිමන්නාරම දකුණු ජැටිය වඩාත් වැදගත් වන්නේ එය දෙරට අතර පළමු දුම්රිය ගමන වෙනුවෙනුත් දායකත්වය දක්වන ලද නිසාවෙනි. නමුත් මෙම ජැටිය ඉතාමත් කෙටි කාලයකින්ම භාවිතයෙන් ඉවත් කිරීමට සිදුවිය. එය භාවිතයෙන් ඉවත් කරන ලද නිශ්චිත දිනයක් සම්බන්ධයෙන් තොරතුරු නොමැති වුවත්; ආසන්න වශයෙන් 1917 සහ 1918 වර්ෂ අතර කාලයේ දී මෙම දකුණු ජැටිය භාවිතයෙන් ඉවත් කරන්නට ඇතැයි විශ්වාස කිරීමට පුළුවනි. වර්තමානය වන විට තලෙයිමන්නාරම ඕල්ඩ් පියර් ග්‍රාමයේ (Old Pier) දකින්නට ඇත්තේ එසේ ගලවා ඉවත් කිරීමෙන් පසුවද ශේෂ වූ දකුණු ජැටියේ දිරාපත් කොටසකි. ප්‍රදේශවාසීන් අදට ද මෙම දකුණු ජැටිය හඳුන්වන්නේ “ඕල්ඩ් පියර් එක” හෙවත් “පරණ ජැටිය” යනුවෙනි. " වැනි හේතු කාරණා රාශියක අවසානතම ප්‍රතිඵල වශයෙන් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර දුම්රිය ගමනාගමන සේවයේ අවසානය තීරණය කරන ලදි .
තොරතුරු -
•දෙරටක් යා කළ තලෙයිමන්නාරම් දුම්රිය” - එම්.ජී. නාපේවිතාන
•දුම්රියේ අප්‍රකට විත්ති - නලින් අබේසිංහ
•Sri Lanka Railways Time Table from September 1983, featuring an advertisement for the Indian Overseas Bank (IOB).
ඡායාරූප අයිතිය මුල් හිමිකරුවන් සතුවේ .