07/12/2025
ජැක්සන් ඇන්තනී මහත්මයා "ගග දිගේ" කියන මව් බිමේ ඉතිහාසය සොයා යන, ගවේශනාත්මක වැඩ සටහනේදී, ඌරුවරිගේ වන්නිලැත්තන්ගෙන් මෙහෙම ප්‍රශ්නයක් අහනවා.
"දැන් ඔය කුවේනියගේ දරුවන් දෙදෙනා වන ජීවහත්තයි, දිසාලයි පැනලා යන්නේ පුලින්දයන් ගාවටනේ. ඒ දෙදෙනාගෙන් නේද, මේ වර්තමාන වැදි පරපුර නිර්මාණය වෙන්නේ...???? "
ජැක්සන් ඇන්තනී මහත්මයා එහෙම අහපු ප්‍රශ්නයට, වන්නිලැත්තෝ මෙන්න මෙහෙම පිළිතුරු දෙනවා.
"මේ කාලේ වෙනකොට බොහෝ දෙනෙක් කතා කරන්නේ එහෙම තමයි. විජය රජ්ජුරුවෝ කුවේනිය එක්ක ජීවහත්ත දිසාලා පිටුවහල් කරපුවහම, ඒ දරු දෙදෙනාගෙන් අපි පැවතුනා කියලා. කවුරු මොනවා කීවත් අපි ඒක විශ්වාස කරන්නේ නැහැ. යක්ෂ, නාග, දේව, රාක්ෂ මිනිස්සු මේ ප්‍රදේශවලත් හිටියා. ඒ කාලෙ තමයි බුදු හාමුදුරුවෝ ලoකාවට වැඩියේ. උන්වහන්සේ මහියoගණයට වැඩියේ යක්ෂ ගෝත්‍රයේ මිනිසුන්ව මුණ ගැහෙන්නයි. ඒ අයට තමයි මුලින්ම කතා කළේ. බුදු හාමුදුරුවෝ තුන් වතාවක් වැඩියට පස්සේ තමයි විජය කුමාරයා ලoකාවට ආවේ. ඒ නිසා විජයගෙන් මේ රටේ මිනිස්සු පැවතෙනවා කියන කතාව බොරු. යක්ෂ ගෝත්‍රිකයෝ කියලා කිව්වට, බුදු හාමුදුරුවෝ එළ හරක් වගේ මෝඩයෝ ගොඩක් මැද්දට බණ කියන්න වඩින්නේ නැහැ. හොද බුද්ධිමත් මිනිස්සු හිටපු තැනකටයි උන්වහන්සේ වැඩියේ. ඒ කියන්නේ මහියoගන ප්‍රදේශයේ, උන්වහන්සේට වඩින්න සුදුසු මිනිස්සු එදා ඉදලා තියෙනවා. අද විශ්වවිද්‍යාලවල උගතුන් මේවා ඔප්පු කරලා තියෙනවා. මේ මහ පොළව හාරලා ගල් ගුහා හාරලා ලක්ෂ ගණනින් මිනිස් ඇටකටු ගොඩ දානවා. ඒ කියන්නේ මේ ප්‍රදේශවල මිනිස් වාසයක් තිබිලා තියෙනවා. ඉතින් ඔබ කතා කරන දේවල් සත්‍යයෙන් තොරයි.
විජය රජ්ජුරුවෝ කුවේණිය පිටුවහල් කළාට පස්සේ, ඒ ඇත්ති දරු දෙදෙනාත් එක්ක පිටමන් වුණා. එතැනදී කුවේණියගේ නෑදෑයින් ඇයට විරුද්ධ වුණා. කුවේණිය ඔවුන්ට බයේ කැලයට ගියා. දරු දෙදෙනාව හදා ගන්නේ 'ඉරුගලේ බණ්ඩාරල හා 'සදුගල් බණ්ඩාර' කියන ප්‍රාදේශීය නායකයෝ දෙන්නා. මේ දරුවෝ දෙදෙනා විවාහ වෙලා , අපේ පරම්පරාව ඇති වුනා කියන කතාව මම නම් විශ්වාස කරන්නේ නෑ. ඒ වගේ චාරයක් නැති මිනිස්සු මේ රටවල හිටියේ නෑ. "
මේක අහන ජැක්සන් ඇන්තනී මහත්මයාට උතුර දකුණ මාරු වෙනවා. හේතුව ඔහු බලාපොරොත්තු වුනේ, සාම්ප්‍රදායික පිළිතුරයි. ඊට පස්සේ ජැක්සන් මහත්මයා මෙහෙම අතුරු ප්‍රශ්නයක් අහනවා.
" කුවේනියව මැරුවේ ඇයගේම පරපුරේ අය නේද...???? "
වන්නිලැත්තෝ මේ පාර ඇන්තනී මහත්මයට පිළිතුරක් දෙනවා.
" කුවේණිය යක්දෙස්සාගල කන්දට නැගලා හැම දවසකම දෙස් තියනවා. ඇයට සැමියත් නැතුවුනා. දරුවනුත් නැති වුනා. නෑදෑයනුත් නැති වුනා. හැමදාම ගල උඩට නැගලා දෙස් තියනවා. තව තියෙනවා කන්දක් ලතෝනිගල කියලා. ඒ කන්දේ ඉදගෙන තමයි කුවේණිය හඩන්නේ. අද මිනිස්සු කියනවා කුවේණියගේ නෑයෝ ඇයව මරා දැමුවා කියලා. කවුරුවත් ඇයව මැරුවේ නෑ. කුවේණිය දිවි නසා ගත්තා. යක්දෙස්සාගල කන්ද පහළට පැන්නා. "
මේ අනුව විජය කුමාරයා, මුළු දේශීය ජනතාවක්ම නැති කරලා දානවා. වන්නිලැත්තන්ගේ අදහස අනුව, ඔවුන් පැවත ගෙන එන්න කුවේනියගේ දරුවන්ගෙන් නොව, යක්ඛ ගෝත්‍රිකයන්ගෙන්. වන්නිලැත්තෝ නොකියා කියන්නේ, බුදුන් වහන්සේ පළවන වරට අපේ රටට වැඩම කර දම් දෙසුවේ වන්නිලැත්තන්ගේ පරපුරේ ඈයන්ට කියලයි. තමන්ගේම නෑයන් ඝාතනය කිරීමට තරම්, යක්ඛයන් සාරධර්මවලින් පිරිහී ගිය ජාතියක් නොව, ශ්‍රේෂ්ඨ ජාතියක් බව මෙයින් පැහැදිලි වෙනවා.
01. යක්ඛ ගෝත්‍රිකයන් උත්කර්ශවත් මoගලෝත්සව පවත්වා ඇත.
02. පoචතූර්ය නාද සහිත උසස් ගීතිකා තිබී ඇත.
03. විසිතුරු උසස් සළු පිලි භාවිතා කළහ (විජය විසින් මරා දැමූ යක්ඛ ගෝත්‍රිකයන්ගේ වස්ත්‍ර , ආර්යයන් විසින් ඇද ගෙන, ඔවුන් මෙතෙක් ඇද සිටි වස්ත්‍ර ඉවත ලෑම).
04. රජු මූලික කර ගත් පාලන තන්ත්‍රයක් (ආණ්ඩුවක්) සහිත අග නගර තිබිනි.
05. මනු නීතිය භාවිතා කිරීම.
06. බත ප්‍රධාන ආහාරය වීම.
07. උඩුවියන්, වටතිර, අලංකාර සයනාසන භාවිතය.
08. ගෘහ වාසික සතුන් ඇති කිරීම.
09. ගෞතම බුද්ධ ශාසනයේ, බෞද්ධ උපාසකයන් වීම.
10. යුද්ධයේදී දක්ෂ නිර්භීත මිනිසුන් සිටීම.
ජැක්සන් ඇන්තනී: සකළ කලා සක්විති රජු
ජැක්සන් ඇන්තනී මහතා හුදෙක් කලාකරුවෙකුට එහා ගිය ඉතිහාස ගවේෂකයෙක් සහ සංස්කෘතික රස්තියාදුකාරයෙක් ලෙස හැඳින්විය හැකිය.
ඔහු විසින් මෙහෙයවන ලද 'මහා සිංහලේ වංශ කතාව', 'ගඟ දිගේ', 'අවරේ සිරිපා', 'රෝම පුරාණය' වැනි වාර්තාමය වැඩසටහන් තුළින්, ශ්‍රී ලංකාවේ සැඟවුණු ඉතිහාසය, පුරාවිද්‍යාත්මක ස්ථාන සහ සංස්කෘතික විස්තර ජනතාව අතරට ගෙන ගියේය.
ඔහුගේ එම ගවේෂණාත්මක වැඩසටහන් ජනතාවට ඉතිහාසය, භූගෝල විද්‍යාව සහ සංස්කෘතිය පිළිබඳ දැනුම ලබා දුන් විශාල විශ්වවිද්‍යාලයක් බඳු විය.
ඔහුගේ ගැඹුරු දැනුම සහ එය සරලව සන්නිවේදනය කිරීමේ හැකියාව නිසාම ඔහුට "ඇවිදින පුස්තකාලය" යන්න කිවොත් නිවරදියි...