19/07/2022
මහ ගැලික් සටන
සූර පප්පා නැත්තං Asterix and Obelix කතාව ඇඳපු උඩර්සෝට පාදක වෙලා තියෙන්නෙ පහළ උදාරම් පෙනුමින් යුත් පුද්ගලයා විසින් මෙහෙයවූ මහා සංග්‍රාමය. සූර පප්පා කතාවේ පටන්ගන්න කතාව මතකනම් ඔයාලට මතක ඇති සීසර් පුටුවක ඉඳන් ඉන්නවා එයාගෙ කට්ටිය එක්ක.
පප්පලගෙ ගමේ කෙනෙක් ඇවිත් ආයුධ වගයක් සීසර්ගෙ කකුල උඩට අතඅරිනවා. එක ඇත්තම සිද්ධියක් හැබැයි කකුල් උඩට අතඅරින්නෑ. ඒ තමයි රෝමානු හමුදාවට එරෙහිව ගෝල්වරු මෙහෙයවපු සුප්‍රකට වර්සින්ගෙටොරික්ස් (Vercingetorix) අදටත් ප්‍රංශයේ නගරයක එයාගෙ ලොකු පිළිරුවක් තියෙනවා නගර මධ්‍යයේ. කඩුව බිමට තියාගෙන කඩු මිට උඩ අත්ල තියාගෙන බලන් ඉන්න එකක්. හරිම තේජාන්විත පෙනුමක්. පප්පලගෙ වගෙ විශාල උඩුරැවුල, කැරළි කොණ්ඩය, යකඩ යුගයට අයිති ඇඳුම් ආයිත්තම් ඇගලාගෙන ඉන්නෙ.
ගෝල්වරු කියන්නෙ ඉපැරණි යුරෝපයේ යකඩ යුගය නියෝජනය කරපු ජන කොට්ඨාශයක්. හරියට අපේ යක්ඛ, නාග, දේව ගෝත්‍ර වගෙ ගෝත්‍රයක්. නූතන ප්‍රංශයේ කැලෑබද ජීවිතයක් ගතකළා කිව්වට එයාලට ගමක් තිබ්බා ගමට ගමනායකයෙක් එහෙම නැත්තං ලොක්කෙක් හිටියා. ඔය වර්සින්ගෙටොරික්ස් කියන්නෙත් ඒ වගෙ එක ගෝල් ගෝත්‍රයක නායකයෙක් ඒ ගෝත්‍රයෙ නම ඇවර්නි. තව බෝයි,
හෙල්වෙටි, බෙල්ජී, සෙකුවානි වගෙ එක එක නම් වලින් හඳුන්වපු ගෝත්‍ර ගණනාවක් හිටියා. මම හිතන්නෙ ඒ ගෝත්‍ර වලට නම් දෙන්න ඇත්තෙ රෝම ඉතිහාසඥයින්.මොකද ඒවා වාර්තා කිරීමේ පහසුව තකා. එ වගෙම අදාල ගම් ප්‍රදේශය අඳුනගන්නත් එක්ක. අද අපි ස්විස්ටර්ලන්තය කියන රටේ එකල ඉඳපු ගෝත්‍රයට දීපු නම හෙල්වෙටි (Helvetii) අදටත් ශබ්දකෝෂයක helveti කියලා search කලොත් එන නම ස්විස් වැසියා කියලා. ඉතිං ඇවර්නි ගෝත්‍රයේ ඉඳපු වර්සින්ගෙටොරික්ස් රෝමයට විරුද්ධව සටන් කීපයක් මෙහෙයවනව. ඒ අනෙකුත් තැන් තැන්වල ඉඳපු ගෝල් ගෝත්‍ර ගණනාවක් එකතුකරගෙන. එයින් එකක් තමයි ඇලිසියා මහ සටන. එතනදි හැබැයි ගෝල්වරු, සුපිරි රෝම හමුදාවන් ඉදිරියෙ පරදිනවා. රෝම හමුදාවෙ යුධ ශක්තිය, යුධ උපක්‍රම, තාක්ෂණික ක්‍රමවේද එක්ක ඉපැරණි යකඩ යුගය නියෝජනය කරන ගෝත්‍රයකට තියෙන එකම පිහිට ඇගෙ හයියයි, ස්වභාවික උගුල් විතරයි. යුද්ධයේදි ගෝල්වරු ඉතාම දරුණුයිලු. කොටිම්ම සතුරව බයකරන්න යහිය හත්තියෙන් වැඩි ගෝල්ජාතික සොල්දාදුවො සම්පූර්ණ නිරුවතින් සටනට යනවලු. ශරීරයේ නිල්පාටින් පච්ච කොටාගෙන. එක තැනක රෝම ඉතිහාසඥයෙක් අපූරුවට ගෝල් වරුන්ව විස්තර කරනවා.
"ඉතා හැඩි දැඩි ශක්තිමත් බාහු, ගාත්‍රා සහ කහ පැහැති කොණ්ඩ රැවුල් වලින් යුත් මේ මිනිස්සු, යුද්ධයේදි අති භයංකරයි."
කොහොම නමුත් වර්සින්ගෙටොරික්ස්, ඇලිසියාහිදි පරදින යුද්ධයේදි යටත්වෙන්නෙ නෑ ඔහුගෙ සියළු ඇදුම් ගලවාදමා ඔහුව රෝමානු සෙබල පිරිසට ප්‍රදර්ශනය කරනව තමන්ට විනකල ම්ලේච්ඡයා මොහු කියලා. ඇත්තටම හැම තැනකම ගෝල්වරු හැඳින්වෙන්නෙ ම්ලේච්ඡයො කියලා. ඒකත් රෝමානු ඉතිහාසඥයො කරපු ලොකු නිගාවක් මේ ජන වර්ගයට. එයාලා ම්ලේච්ඡ නැත්තං barbarians කියලා හැඳින්වුවට එයලට උරුම තාක්ෂණයක්,වන්දනා ක්‍රම, සටන් ශිල්ප වගෙම පවුල් සංස්ථාවක් පවා තිබිලා තියෙනවා. එක තැනක මම කියෙව්වා ගෝල්වරු, හමුදාවක් හදද්දි තෝරගන්න තරුණ පිරිස්වල ශාරීරික යෝග්‍යතාවය බලනවලු. ඒ වගෙම තඩි බඩවල් තියෙන පිරිමින්ව සොල්දාදුවො කරන්නෙ නෑලු. ඉතිං ඒ මිනිස්සු ම්ලේච්ඡයො වෙන්නෙ යුද්ධයකදි විතරයි. ඒක මිනිස් ස්වභාවය.
ඒ වගෙම එයාලගෙ සමකාලීන අනෙකුත් රටවල් එක්ක වෙළහෙළඳාම් පවා කරලා තියෙනවා කියනව විශේෂයෙන්ම ඉතාලිය, ස්පාඤ්ඤය, ග්‍රිසිය වගෙ. මොකද ගෝල්කාන්තාවන්, සුවඳ විලවුන්, සබන් වගෙ දේවල් ඇග ගල්වපු බවට සාක්කි හොයං තියෙනවා.
මෑතකාලිනව ප්‍රංශයේ ලවාවු වලින් හොයාගත් ගෝල් කුමාරයගෙ සොහොනින්, බොරදම්, විශාල මධ්‍යධරණිය වයින් බරණියක්, වයින් වක්කරන භාජනයක්, ඇම්බර් හොයාගෙන තියෙනවා.
ඒ වගෙම ගෝල් උසස් කුලයේ පිරිමි බෙල්ල වටා දමපු torque කියන ආභරණයක්, වගෙම අත්වලට දාපු වළලු පවා හොයාගෙන තියෙනවා. ඉතිං එහෙම අය ම්ලේච්ඡයො කියන එක අසාධාරණයි.
හැබැයි හරි කතාවෙදි ගෝල්වරු යටත්වෙනවා. ඊටපස්සෙ වර්සිගෙටොරික්ස්ව ඉතාලියට අරං ගිහිං මරණිය දණ්ඩනය දෙනවා. කලින් post එකෙ රූපෙත් සමහරවිට ඇලිසියා මහ සටනේ එක සිද්ධියක් වෙන්න පුළුවන්. ගැටළුවකට තියෙන්නෙ මේ යුද්ධේදි මියගිය ජර්මානුවන් ගැන. මොකද කොතනකවත ජර්මන් ගෝත්‍රිකයො සහ ගෝල්වරු එකිනෙකා මුණගැහුණ කියලා සඳහනක් නෑ. ඒ අනුව උපකල්පනය කරන්න පුළුවන් එකම දේ රෝමය, ජර්මනිය එහෙම නැත්තං අලමානි දේශය අල්ලගත්තට පස්සෙ එයින් ඉතුරුවුණ හෝ යටත් වුණ ජර්මන්වරුන්ව අරං ගිහිං කුලී හමුදාවක් (merceneries) හදන්න ඇති. එයාලවත් එක්කගෙන ගෝල්දේශයට එන්න ඇති යුද්ධ කරන්න. ජර්මනියට අපි ජර්මනිය කිව්වට ඒකෙ ඇත්ත නම අලමානියාව. ඒ වචනෙ තේරුම 'අසල්වාසියො'. ඒක රෝමානුවන් දීපු නමක්. අදටත් ඉතාලි ජාතිකයො, ප්‍රංශ ජාතිකයො, ස්පාඤ්ඤ ජාතිකයො සහ විශේෂයෙන් අරාබි ජාතිකයො ජර්මනිය හඳුන්වන්නෙ අලමානි කියලා. ජර්මනියට ලතින් බසින් කියන්නෙ ගර්මානියා ( Germania) කියලා. ඕක ඉංග්‍රීසියට එද්දි තමයි ජර්මනි වුණේ. ජර්නියෙ ඉඳපු ජර්මානු ගෝත්‍රිකයො හඳුන්වන්නෙ අලමානි කියලා. එයාලත් හඳුනාගැනීමේ පහසුව තකා රෝම ඉතිහාසඥයින් විවිධ නම් දෙනවා. අලමානි, ස්වේබි, වගෙ නොයෙක් නම්.
කෙසේවෙතත් රෝමානු හමුදාව ජර්මනියෙදිත් හොඳ පාඩම් ඉගෙනගන්නවා සුප්‍රකට ටියුටර්බර්ග් යුද්ධය එයින් එකක්. සුප්‍රකට ආර්මිනියස් ජනරාල්වරයා යටතේ ජර්මානු ගෝත්‍රය එක්ක සටන් වදින්න යන රෝමානු හමුදා ටියුටර්බර්ග් කැලෑ මැද්දෙදි විශාල ගිනි ඇවිලෙන තණකොල වියලී ගිය ශාක වලින් හැදූ ගිනිබෝල වලට හසුව මියයනව. ඇත්තටම ඒක ආර්මිනියස්ගෙ වැඩක්. මොකද ආර්මිනියස් ඇවිත් ජර්මානු සම්භවයක් තියෙන, නමුත් කුඩා කාලෙදි රෝමානුවන් විසින් හදාවඩාගත් දරුවෙක්.
කෙසේ හෝ ගෝල් වරු සහ රෝමානුවන් අතර මේ ගැටුම අවුරුදු ගණනාවක් තිබුණු අතර මෙය 'මහා ගැලික් සංග්‍රාමය' ලෙස ඉතිහාසඥයින් විසින් විස්තර කෙරෙන ලදි.
(විස්තර හා ඡායාරූප අන්තර්ජාලය ඇසුරිනි)